බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී රාජ්‍ය සේවකයන්ගේ සුභසාධනය හා අන්‍යෝන්‍ය සුහද බව සඳහා එකතුව සංවිධානයක් පිහිටුවා ගැනීමට කළ කතිකාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම සංගමය බිහි වීමේ මූල බීජය ඇති විය. ඒ අනුව 1909 ජනවාරි 09 වන දින සංගමය ආරම්භ වූ අතර ප්‍රථම සම්මේලනය කොටුවේ "ශාන්ත පාවුළු" පිරිමි විද්‍යාලයේදී සාමාජිකයන් 40 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත් විණි. මෙහි ආරම්භක නියමුවන් ලෙස ප්‍රථම සභාපති ජී. හයින් මහතා ද , ප්‍රථම ලේකම් ඕවන් ඩී. ලා හර්ස් මහතා ද, භාණ්ඩාගාරික ලෙස ගෝඩ්න් ඊ. ඩබ්. ජෑන්ස් මහතා ද පත්විය. 1938 වසරේදී පැවැති මහා සභා රැස්වීමේදී ප්‍රථම වරට සංගමයේ නම "රජයේ නිලධාරීන්ගේ යහසාධක සංගමය" වශයෙන් භාවිතා කිරීම ආරම්භ විය. සංගමයේ සාමාජිකත්වය වැඩිවීම ආදායම් හා වියදම් පුළුල් වීම හා සාර්ථක මූල්‍ය ආයතනයක් ලෙස ලැබූ පිළිගැනීම පදනම් කොට ගෙන 1971 අංක 27 දරණ පාර්ලිමේන්තු පනත මගින් "රජයේ නිලධාරීන්ගේ යහසාධක සංගමය" යනුවෙන් නීතිගත කරන ලදී. මෙම පනත අනුව පිහිටුවා ඇති කළමණාකරන කමිටුව සඳහා සභාපතිවරයෙකු, උපසභාපතිවරුන් දෙදෙනෙකු හා කමිටු සාමාජිකයින් 12 දෙනෙකු ද වාර්ෂිකව පැවැත්වෙන මහ සභා රැස්වීමේදී තෝරා ගනු ලබයි. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය සහිත ආයතනයක් වූ අතර මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් නම් කරන අයෙකු කමිටුව නියෝජනය කිරීම ද  එම පනතට ඇතුළත් විය.

සංගමයේ සභාපති වරයෙකු ලෙස කටයුතු කළ පී. පී. පී. ප්‍රේමකුමාර් මහතාගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස එවකට මුදල් අමාත්‍ය ධූරය දැරූ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාගේ අනුග්‍රහයෙන් දැනට මූලස්ථානය පවත්වා ගෙන යන කොළඹ 02 සර්. චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ ඇති ඉඩම බදු පදනම යටතේ රජයෙන් ලබා ගැනීමට හැකි විය. සංගමයේ කීර්තිමත් සභාපතිවරයෙකු වූ ආර්. එල්. ද අල්විස් මහතාගේ අතිමහත් ධෛර්යය නිසා සංගම් මූලස්ථානයට 1977 අගෝස්තු 26 දින එවකට මුදල් අමාත්‍ය වූ ගරු රොනී ද මෙල් මහතා විසින් මුල්ගල් තබන ලදී.

ගරු සභාපති ආර්. එල්. ද අල්විස් මහතාගේම නායකත්වයෙන් සියලු වැඩ නිම කොට 1984 ජුනි 23 වන දින එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ඩී. බී. අයි. පී. එස්. සිරිවර්ධන මහතා විසින් විවෘත කරන ලදී. එසේ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අප, සාමාජිකයන්ට ඉතා විශ්වාසනීය ලෙස ඉතා සුහදව 1909 සිට අද දක්වා අඛණ්ඩ සේවයක් ඉටුකරමින් යෝධ ශක්තියකින් නැගී සිටී.

  • කතරගම නගර මධ්‍යයේ ඉදි කරනු ලැබූ ඉතා සිත් ගන්නා සුළු නිවාඩු නිකේතනයක් වර්තමාන සංගමයේ ප්‍රධාන වත්කමක් වන අතර සාමාජිකයන්ට මෙන්ම සාමාජිකත්වය නොමැති අය සඳහා ද සහනදායී මිලට නවාතැන් පහසුකම් සැපයේ.
  • අනුරාධපුර පූජා භූමියට ආසන්න කටුකැලියාවේ පර්චස් 80 ක මනරම් බිම් තීරයක ඉදි කර ඇති අපගේ දෙවැනි නිවාඩු නිකේතනය ද 2016 ජූනි මස සිට සහනදායී මිලට නවාතැන් පහසුකම් සැපයේ.
  • මීට අමතරව නුවරඑළියේ ද, හා ත්‍රිකුණාමලයේ ද, නිවාඩු නිකේතන ඉදි කිරීමට ද, සැලසුම් කර ඇත.
  • සාමාජිකයන්ට සහන පදනම මත දඹදිව චාරිකා වැඩසටහන් සංවිධානය කර ඇත.
  • ශක්තිමත් මූල්‍ය පසුබිමක් හා කාර්යක්ෂම සේවක මණ්ඩලයක් සමඟ 12000 අධික සාමාජික සංඛාවකට ණය යෝජණා ක්‍රම 24 යටතේ එක් දිනක් තුල ණය නිකුත් කිරීමේ හැකියාව අද වන විට ලබා තිබේ. රු. දශ ලක්ෂ 30 අධික මුදලක් ඒ අනුව මසකට සාමාජික ණය වශයෙන් ගෙවනු ලබයි.
  • ගිණුම් කටයුතු පරිගණක ගත කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පැය ½ තුල ණය ලබා ගැනීමේ හැකියාව 2016 වසරේ සිට ලගා කර ගන්නා ලදී.
  • 2016 වසරේ සාමාජික ඉතිරි කිරීම් සඳහා ලාභාංශ වශයෙන් 6% ගෙවා ඇත.
  • සංගමයේ අරමුණු ප්‍රකාරව රු 50000.00 උපරිමයකට යටත්ව වෛද්‍ය ආධාර , විශ්‍රාම ගැනීමේදී හා සාමාජික මරණයකදී මූල්‍යමය ආධාර ද ගෙවනු ලැබේ.
  • සාමාජිකයින්ගේ පහසුව සඳහා 2016 ජූලි මස සිට කාර්යාලය පෙ.ව 8.00 සිට විවෘත කර පවතී.
  • 2017 මාර්තු මස සිට අදට ගැලපෙන පරිදි කාර්යාලය නවීකරණය කරන ලදී.