රාජ්‍ය සේවයේ නිලධාරි මට්ටමේ තනතුරු දරන 12500 ක පමණ සාමාජිකයින්ගෙන් සමන්විත වසර 114 ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන රජයේ නිලධාරින්ගේ යහසාධක සංගමයේ වාර්ෂික මහාසභා රැස්වීම 2023 ජූනි මස 24 දින කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේදී පවත්වන ලදි. එහිදී පැවැති නිලවරණයේදී බහුතර සාමාජික ඡන්දයෙන් 2023/2024 පාලන වර්ෂය වෙනුවෙන් ර.නි.ය.ස. 25 වන සභාපතිවරයා වශයෙන් මා තෝරාපත් කර ගැනීම පිළිබඳව ප්‍රථමයෙන් ඔබ සැමට ප්‍රණාමය පුද කරමි.

වර්ෂ 1991 දී මහා භාණ්ඩාගාරයට පළමු පත්වීම ලැබ රාජ්‍ය සේවයට පිවිසෙන මා  එම වසරේදීම සංගමයේ සාමාජිකත්වය ලබා, 2008 වර්ෂයේදී පාලක කමිටු සාමාජිකයෙකු ලෙස පත්වූ අතර, 2015 දී උප සභාපති ධූරයට පත්ව මේ දක්වා වසර 15 ක කාලයක් කළමනාකරණ කමිටුව තුළ ක්‍රියාකාරීව සිටිමින් ලබාගත් අත්දැකීම් හා පළපුරුද්ද  සංගමයේ ඉදිරි කටයුතු සියලු බාධා/අභියෝග ජය ගනිමින් නිවැරදි දිශානතිය කරා  මෙහෙයවීමට ඉමහත් ශක්තියක් වනු ඇතැයි විශ්වාස කරමි.

අප සංගමය මඟින් දැනටමත් සාමාජිකයින් වෙනුවෙන් සහන පොලී අනුපාත යටතේ විවිධ ණය යෝජනා ක්‍රම මෙන්ම විශ්‍රාම/මරණ/වෛද්‍ය/ශිෂ්‍යත්ව වැනි විවිධ ප්‍රදානයන් ක්‍රියාත්මක කරනු ලබයි. සාමාජිකයින්ගේ ඉතුරුම් ප්‍රවර්ධනය කිරීම උදෙසා   මාසික සාමාජික දායකත්ව මුදලින් 56.5% ක් සෘජුවම සාමාජික ඉතුරුම් සඳහාද, ඉතිරි මුදල්ද විවිධ අරමුදල් ඔස්සේ වක්‍ර අයුරින් සාමාජිකයාටම ආපසු ලබාදේ. එමෙන්ම කතරගම හා අනුරාධපුර පිහිටි නිවාඩු නිකේතනවල නවාතැන් පහසුකම් මෙන්ම දඹදිව වන්දනා චාරිකාවද වට්ටම් සහිතව සාමාජිකයින්ට ලබාදේ.

එම කටයුතු තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යමින් සංගමයේ පනතේ මෙන්ම රීතීන්වල පවතින විධිවිධාන අනුව මා වෙත පැවරී ඇති බලතල පරිදි කණ්ඩායම් කිහිපයක සංයුතිය ඇතිව පත්වූ කළමනාකරණ කමිටුවේද සහාය ලබා ගනිමින් නිවැරදි මූල්‍ය කළමනාකරණයකින් යුතුව සාමාජිකත්වයේ මෙන්ම සංගමයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සංගමයේ කාර්ය මණ්ඩලයද මෙහෙයවමින් කටයුතු කිරීම මාගේ ඒකායන අරමුණ වේ.

හිතවත් සාමාජික මහත්ම මහත්මියනි, ර.නි.ය.ස.  ශක්තිය ඔබයි. මෙම සංගමය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරදීමට ඔබගේ යුතුකමේ වගකීමද ඉටු කිරීමේ මහඟු අවස්ථාව සලසා ගනිමින් නව සාමාජිකයින් හඳුන්වා දී දායකත්වය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

ඔබ සැමට ස්තූතියි!

ඩී.එස්.පී. දුනුසිංහ

සභාපති

රජයේ නිලධාරින්ගේ යහසාධක සංගමය